Such is Life



ගිලිහී වැටෙන තරුවක
හමන සුළඟේ ස්වරයක
වසත් කුසුමෙක සුවඳක
පින්න දිලිසෙන උදයක

දැවටෙනා පෙණ බුබුලක
සැඳෑ හවසක අහසක
ඉසින විලවුන් සුවඳක
උණුසුම් කෝපි සුසුමක

දැකිය හැකි අරුමයක් තිබුණිද
අතිර බව හැර අන් යමක් වෙද
ණයට ගත් අසිරියකි මේ හැම
අහිමි වන අසුරක පමාවට

තරුව ගිලිහී වැටේවී
සුළඟ හෙමිහිට හමාවී
කුසුම මියැදී වැටේවී
පින්න දිලිසී මැරේවී

සුසුදු පෙණ කැටි බිඳේවී
අහස අදුරේ ගිලේවී
සුවඳ හනිකට මැකේවි
කෝපි සීතල දැනේවි

ඇස් පියන් වැසෙනා පමාවක
ගමන නිමවී තිබේවී
නුඹ නමට වූ මතකන් හැම
ලොවෙන් වියැකී තියේවී

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මොකද්ද උඹේ ඕපනින් ලයින් එක.?"

ජිමා අහන්නේ යටි උගුරෙන් කොදුරමින්

"අතේ තියෙන පොත ගැන අහමු.?"

"නොදකින්.ඕල්ඩ් ට්‍රික්ස්නේ බන්.අතේ මාට්ටු."

"නෑ එහෙම වෙන එකක් නෑ."

"නාගෙන වරෙන් එහෙනම්."

ජිමාගෙන් විවරණ අරගෙන මම හැරෙන්නෙ ඇය දිහාවට.

"එක්ස් කියුස් මී... ඔය අතේ තියෙන්නේ කවි පොතක්ද.?"

ගතවෙන්නේ කල්පයක්.මගෙ ආත්ම ගෞරවය..?දෙවියනේ ඒක ලොකු ලන්සුවක්.මගේ යටි හිත කෑගහනවා.ජිමාගේ ඇස්වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න.

පලවෙනි පාඩම! ඇගේ කතාව හෙමින්.

"ඔව්...!"

ඇය පවසන්නේ සිනාමුසුව පොත මට දිගුකරන ගමන්.

"දෙවියනේ... මේ ලෝකේ මෙච්චර ගොන්ද..?"

තනියම කියවන ජිමාගේ සාපකිරීම් වලින් ඉතින් කාට පලක් ඇතිද...?

අපේ අලුත් සමාගමය ගලන්නේ දුවන දුම්රියටත් වඩා වේගයෙන්.

"ඔයා ආසාම කවිය මොකද්ද..?"

මම අහන්නේ ඉන් බොහෝ කාලෙකට පස්සේ දවසක.

"Sic Vita"

ඇය පිලිතුරු දෙන්නේ මොහොතකවත් පමාවක් නැතුව.

Sic Vita

කවි නොකියවන මට, නොතේරුනු කවි වලින් එකක්.

එදා නොතේරුනු කවිය වසර දහ අටකට පස්සේ අද හදිසියේම මට වැටහෙන්නට පටන් අරන්.

සිතුවිලි වලට හඩන්නට, වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්.

මිතුරිය, නුඹේ විචිත්‍ර සිහිනවල සදාකල්හිම කිමිදී ඉතින් සුවෙන් නිදන්.

Sic Vita

Like to the falling of a star,
Or as the flights of eagles are,
Or like the fresh spring's gaudy hue,
Or silver drops of morning dew,
Or like a wind that chafes the flood,
Or bubbles which on water stood:
Even such is man, whose borrowed light
Is straight called in, and paid to night.
The wind blows out, the bubble dies;
The spring entombed in autumn lies;
The dew dries up, the star is shot;
The flight is past, and man forgot.

by Henry King

~තේජාන්~

රෝස + කටු


 "හෙට කාර් එකේ එන්න" 
බ්‍රහස්පතින්දාවේ වෙන්වන්නට පෙර කීවේ හදිසියේ මතක් වූ තාලයට. ඒත් එසේ කියද්දී හිස ඇළ කළ අයුරින්ම එය දවස් ගණනක් තිස්සේ සැලසුම් කළ දෙයක් බව ඔහු දැනගත්තා. ඔවුන්ගේ හමුවීම් බොහෝවිට සිදුවූයේ දවල් කෑම විවේක වලදී. නැතිනම් රැකියාවේ පැය අටෙන් පසුව. ඔහු කාර්යාලයට තම රථය පැදෙව්වේ කලාතුරකින්. මහ මඟ වෙත අවධානය යොමු කළ යුතු නැති වීම දුම්රිය ගමන ඔහු ප්‍රිය කිරීම පිළිබඳව ප්‍රසිද්ධයේ ප්‍රකාශ කළ හේතුවක්. උදයේත්, හවසත් සීරුවට පැය බැගින් ඇගේ හඬ සාක්කුවේ රුවාගත් දුරකතනයටත්, එතැන් සිට සිහින් කම්බිය දිගේ දෙසවනටත් ඇදෙන්නට දුම්රිය ගමන පහසුවෙන් අනුබල දීම ඔහු නොකී අප්‍රකට හේතුවක්. වාහනයක් එලවද්දී දුරකථන සංවාද අනතුරුදායක බව ඇදහීම අප්‍රකට හේතුවට මුල් වූ ප්‍රධාන හේතුවක්. දිනය ඇරඹීමටත් නිමකිරීමටත් දුම්රිය ගමනේදී කෙරුණු දුරකථන සංවාද වලට වඩා ඉස්තරම් ක්‍රමයක් ඔහුට සිතාගන්නට නොහැකි වුණා. මතුපිටින් සැහැල්ලු සරල දෙබසින්ද හා සමාන්තරව වදනින් නොකියවෙන ගැඹුරින්ද යුතු වූ ඔවුන්ගේ ඇසුර සුවිශේෂී එකක් වූවා.


"ඇයි කාර් එකෙන්?"යන පැනය අසන්නට මුවගටම නමුත් එය වදන් බවට නොහරවන්නට ඔහු ප්‍රවේසම් වුණා. ඇතැම් විට අන්තිමට හමුවීමට නියමිත දිනයේ සංවාද හැකි තරම් කෙටි කළ යුතු යැයි සිතුවා විය හැකියි.නො එසේ නම් හමුවීමෙන් පසු දුම්රිය මැදිරියක තෙරපුන සෙනඟ වෙතින් තම හැඟීම් වසන් කරගන්නට ඔහු අපොහොසත් වේ යැයි ඇය සිතුවා විය හැකියි. හේතුව කෙසේ වුවත් නිකරුණේ තීරණ නොගන්නා බව ඔහු තරයේ විශ්වාස කළා. නිරතුරුව හීන දකින,ඇතැම් විට හීන පමණක් දකින තමාට පෙම් කළේ ත් ඇගේ හීන නොදැකීමේ ගුණය නිසා බවත් ඔහු දැන සිටියා.ඔහුත් ඇයත් ප්‍රධාන භූමිකා රඟන අනාගතයක් පිළිබඳ වර්ණවත්,විචිත්‍ර මෙන්ම ප්‍රායෝගික නොවන සැලැස්මක් ඔහු වෙතින් අසා හිඳින්නේ දෑසේ උතුරන සිනහවෙන්. කතාව අවසානයේ "My dreamer!" යැයි පවසන ඔහුගේ හිසකෙස් අවුල් කරන්නේ දඟ වැඩක් කළ දරුවෙකුගේ මවක් මෙන් ආදරයෙන්. එබැවින් තර්කයකින් තොරව "sure!" යැයි පවසා පසුදින රථයේ ඒමට ඇගේ ඉල්ලීම ඔහු පිළිගත්තේ වෙනුවෙන් ඔහු ඉටු කරන අවසාන ඉල්ලීමක් බව මතක් කර පපුව මැදින් මතුවූ දෙදරුම නොදැනුණු විලසටයි.


තමන්ට නිරතුරුව හෘදයාබාධ ඇති කරන්නේත්,ඒවා සුව කරන්නේත් ඔහු බව නිතර පැවසූ දෙයක්. එසේ හෘදයාබාධ ලෙස සඳහන් කරන්නේ එක අකුරක් ඉලක්කමක් වත් නියමිත තැනින් පිට නොයන ඇගේ රැකියාවේත්, ලෙසටම පිළිවෙළට ඊටම අනුගාමීව සැකසුණු ඇගේ දිවියේත් ඔහු ඉඳහිට ඇතිකරන පුංචි වාසුළි පිළිබඳවයි. ඔවුන් නගරබද මාවතක් ඔස්සේ ඇවිද ගිය දිනක මල් සාප්පුවක් ඉදිරිපස මොහොතක් නතරව රතු රෝස මලක් සිපගනු දුටු ඔහු,පසු දා එතැනින්ම ඇණවුම් කළ රතු රෝස මල් මිටියක් යවන්නාගේ නම ගම රහිතව ඇගේ කාර්යාලයට යැව්වේ ඇගේ විස්මය සිතින් මවාගන්නා ගමන්. ඇණවුම භාර ගත් ඇගේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනිය, එහි ලබන්නිය ඈම බව මල්කරු ගෙන් සැක හැර දැනගත්තේ කිහිප වරක් විමසීමෙන් පසු බව ඔහු පැවසුවේ මොහොතකට දඟකාර දැරියක් වෙමින්.


"දාන ලෙඩ! දැන් මම කොහොමද මේක ගෙදර අරගෙන යන්නේ?"


ඔහුගෙන් විමසුවේ දඟකාර සිනහවෙන්මයි. මේ අසන්නේ තදබදයෙන් පිරුණු දුම්රියක විශාල මල් කළඹක් ගෙනයන්නේ කෙසේදැයි කියා නොවන බව ඔහුට සැණෙකින් වැටහුණේ සිනාව යටින් දිව ගිය ශෝකයේ සේයාවක් හඳුනාගත් විටයි. රෝස මල් කළඹ ඇණවුම් කරද්දී තරම් දුර නොසිතීම පිළිබඳව ඔහුට දැනුණේ පසුතැවීමක්
"කියන්න අද හොඳටම එකවුන්ටස් බැලන්ස් කළ එක්කෙනාට ඔෆිස් එකෙන් දුන්නා කියලා!" ඔහු පැවසුවේ ආයාසයෙන් මවාගත් ප්‍රබෝධයෙන්.


"පිස්සු ටිකක්! ඒත්....මම මේවාට ආදරෙයි!" කියා සිනාසී මාතෘකාව වෙනතක හැරෙව්වේ පිළිබඳව තවදුරටත් පැවසීමට දෙයක් දෙදෙනාටම නොතිබුණු බව දැනගෙන යි.

මිතුරුකමත් ප්‍රේමයත් අතර පෙනෙන නොපෙනෙන සීමාව තරණය කරන්නට ඔවුන්ට උපකාරී වූවේත් රෝසමලක්. වඩාත් නිවැරදිව පවසනවානම් රෝස මලක් පිළිබඳව ඔහු කෝපයෙන් දමා ගැසූ වදන් පෙළක්. ඔවුන් දෙදෙනාම එකම දුම්රියේ ගමන් කළ කාලය. කුමක්දැයි සිහිකිරීමට වත් නොහැකිතරම් සුළු දෙයකට හා කෝප ගැන්වීරෝස මල් ලස්සන වුණාට වැඩක් නැහැ ලං වෙන්න බැරි තරම් කටු පිරිලා නම්!”යැයි පවසා ඔහු වෙතින් නික්ම ගියේ ඇගේ තර්කයන් සැණෙන් නිහඬ කරමින්. වැකියෙන් වාදය දිනුවා යැයි රහසින් උදම් අනමින් සිටි ඔහුට එයින් තමා ඇයට ලං වෙන්නට තැත් දැරීමක් ගම්‍ය වන බව හැඟුණේ ඉන් බොහෝ වෙලාවකට පසුවයි.තමා එවැනි දෙයක් පැවසුවේ එය යටිසිතේ සැරිසරමින් තිබුණු නිසාදැයි තැවුණු ඔහු, නැවත හමු වූ දිනයක ඇගෙන් ඔහුට කවර ප්‍රතිචාරයක් ලැබේ දැයි සසලව දවස ගත කළා. සසල වීම වෙනත් වෙසක් ගත්තේ එදාම ඔහු ඇගෙන් ලද මේල් පණිවිඩයක් නිසායි. එහි තිබුණේ උල් කටු සහිත රෝසමලක රුවක් සමඟ ඔවුන් දෙදෙනාම ප්‍රිය කළ Lang Leav කිවිඳියගේ කවියක් පමණයි.“Have you ever loved a rose, and bled against her thorns| And swear each night to let her go, then love her more by dawn.” යැයි එහි සඳහන්ව තිබුණා. ඉතින් එතැන් සිට කටු වලින් සීරි හදවතින් ලේ ගලද්දී රෝස මලකට පෙම් කිරීමේ කලාව ඔහු ප්‍රගුණ කළා.

එහෙත් සිහින දකින්නෙක් ලෙස ඔහුව නිර්වචනය කරගෙන උන් නිසා යථාර්ථයත් එම යථාර්ථය මැදින් කඳුළක් නොහෙළා යන ගමනත් ඔහුට දුන් රිදුම් ගැන නැවත යමක් කියන්නට ඔහු උත්සුක වුණේ නැහැ. යමක් කියන්නට තැත් කළත්, "මම සුදු රෝස මලක් වගේ ජීවත් වෙන්න හදන රතු රෝස මලක්!" වැනි දෙයක් කියා වෙනත් මාතෘකාවකට ඈ පිවිසෙන්නේ නිරායාසයෙන්. ඇතැම් දිනවල කෝපිහලක එළිමහන් මේසයක අසුන්ගෙන ඔහු එනතුරු මඟ බලා සිටින ඇය ඈත තියා දකිද්දී, නිවෙන අව් රැස් ඇගේ කෙහෙරැළි වල නිමවන රටාත්, ඔහු දැක්මෙන් දැල්වෙන ඇගේ දෑසත් නෙත ගැටෙද්දී ඇතිවෙන රිදුම,ළය පැලීමේ එක්තරා ආකාරයක් බව ඔහු විශ්වාස කළා. රිදුම වදන් බවට පෙරළිය නොහැකි බවත්, පෙරළිය යුතු නැති බවත් ඔහු දැන සිටියා.ඉතින් ඔහු තවතවත් ඈට නුහුරු නමුත් ප්‍රිය කළ සිහින ලෝක වලම අතගෙන සැරිසැරුවා. සැබෑ ලොවක් නැති ලෙසට, තිබිය නොහැකි ලෙසට වදන් අමුණන්න ප්‍රවේසම් වුණා. තව තවත් ඇගෙන් “dreamer!” යැයි ඇමතුම් ලැබුවා.පොතපත, චිත්‍රපට,කවි කතන්දර ආදියෙන් පිරුණු ඔවුන්ගේ ලොවට යථාර්ථහියෙහි දුරස්ථ බව එක්තරා සැනසිල්ලක් වූවා.

................................................................................

බ්‍රහස්පතින්දාවට පසු එළඹුණු සිකුරාදා දිනය ශීත කාලයේ අනිකුත් දිනයන්ට වඩා අඳුරු බවක් ඔහුට දැනුණේ රැය පුරා ගත කළ අඩ නින්දෙන් මිදී දෑස් විවර කළ මොහොතේමයි. නිවසින් පිටවෙන්නට පෙර අතට ලැබුණු කෝපි කෝප්පය පානය නොකර පසෙකින් තැබූ ඔහු, ඇයට පොරොන්දු වූ පරිදි තම රථයට ගොඩවූයේ කකියන හදින්.අධි වේගී මාර්ගයේ පේන මානයක් දක්වා දැවටී තිබුණු ඝන මීදුම් දුමාරය ඔහුගේ සිතිවිලි වලටම ගැළපුණා. ඔවුන්ගේ අවසාන හමුවීම යොදාගෙන තිබුණේ දවස කෙළවර දී. ඔහුගේ මුළු දවසම අකර්මණ්‍ය වී තිබුණේ දවස ආරම්භයේදී ඇගේ කටහඬ නෑසුණු නිසා බව ඔහු තමාටම ඒත්තු ගන්වමින් සිටියා. දිනට පසු එළඹෙන දිනක් හෝ ඊට එහා කාල වකවානුවක් ගැන සිතන්නට වත් ඔහු පැකිලුණා.


සීතල කාලයේ උයන් කෙළවර බංකු හිස්ව පැවතීම කෙතරම් දෙයක්දැයි එදා ඔහුට සිතුණේ වරක් දෙවරක් නොවේ.ඔවුන් අසුන්ගෙන සිටියේ තම රන් පෑ පත් සියල්ලම හලා දමා ශෝකීව උන් ඈෂ් ගසක් පාමුල බංකුවක යි. වෙනදාට දහසක් දේ ගැන දොඩමළු වන ඇය,එදා යන්තම් වදන් දෙකතුනක් ගැටගසා ගත්තා පමණයි. නොහඬා හිඳින්නට මහත් ආයාසයක් දරන බව වැටහුණු කල ඔහු පැය ඇගේ අත ගෙන නිසොල්මන් ගත කළා.වරු ගණනක් කතා කර කියාගනු නොහැකි දහසක් දේ නිහඬ බව තුළ තිබුණා. පැතිරී තිබුණු අවසාන ලා එළියත් නිවා දමා මහා මන්දාරමක ලකුණු ගෙන වේලාසනින්ම අඳුර එළඹුණේ සිත් පිත් නැති විලසට. වෙන් විය යුතු මොහොත තවත් පමා කළ නොහැකි බව ඔවුන් දෙදෙනාටම හැඟුණා



"මම ඔයාට දෙයක් ගෙනාවා. අතන මගේ කාර් එකේ ඇති.ඔයාට කාර් එකේ එන්න කිව්වේ ඒක කෝච්චියේ අරගෙන යන්න බැරි තරම් ලොකු දෙයක් නිසා." සිනාසුණේ මලානික .

"මමත් ඔයාට දෙයක් ගෙනාවා. මෙතන මගේ සාක්කුවේ තියෙන්නේ. ඒකනම් කෝච්චියේ අරගෙන යන්න පුළුවන් තරම් පුංචියි.ඒත් ඒක ගෙනාවේ ලබන සතියේ ඉඳන් ඔයාට කාර් එකේ වැඩට එන්න කියන්න" ඔහුත් සිනාසෙන්නට උත්සාහ කළා.

"කාර් එකේ වැඩට එන්න කියන්න තෑග්ගක්?කෝ ළඟම තියෙනවා නම් ගන්න බලන්න." එවර නම් ඇගේ සිනහව දිලිසුණේ සැබෑවටමයි.

ඔහු සාක්කුවෙන් පිටතට ගත් කුඩා මංජුසාවේ තිබුණේ රත් පැහැ හුයක් කෙළවර රැඳවූ ධර්මචක්‍රයක්.

"
මේක කාර් එකේ ඉස්සරහ කන්නාඩියේ එල්ලගන්න. කෝල් කරන්න ඕනේ නැති නිසා මීට පස්සේ කෝච්චිවල රස්තියාදු වෙන්න එපා.පරෙස්සමින් කාර් එකේ වැඩට එන්න"

එය අත තබා ඔහු සෙමෙන් පැවසුවා. රන් පැහැ පදක්කම සමඟම ඔහුගේ අතැඟිලිත් ඇගේ සුරතට ගුලි කරගත් මොහොතක් නිසොල්මන් දෑස් පියාගෙන සිටියා. මොහොතේ හඬා වැටුනහොත් ඔවුන් දෙදෙනාටම තව බොහෝ වෙලාවකට කඳුළු නවත්වාගනු නොහැකි වනු ඇතැයි ඔහුට බියක් දැනුණා.



"
හොඳටම එකවුන්ටස් බැලන්ස් කරපු කෙනාට ඔෆිස් එකෙන් දුන්නා කියන්න" දුර්වල විහිළුවකින් එම අවස්ථාව මඟහැර ගැනීමට ඔහු තැත් දැරුවේ නිසායි. ඔහු සිතූ ලෙසම එය මුවඟට සිනහවක් ගෙන ආවා.

"
පිස්සු ටිකක්!" සිනාසුණේ පතුළත කඳුළු දිලිසුන දෑසින්.
ඉන්පසු නිහඬවම උයන අද්දර නවතා තිබුණු ඇගේ රථය වෙත පියමැන්නා. ආපසු ආවේ සවස් කල ලා අඳුරේ පවා පත් කොළ පැහැයෙන් බැබලුණ පැළයක් සහිත බඳුනක් අතින් ගෙන.ඉතා හොඳින් වැඩී තිබුණු එය රෝස පැළයක් බව ඔහු හඳුනාගත්තේ එය ඔහු අසලින් බංකුව මත තැබූ විටයි.

"රෝස පැළයක්??! මට??" ඔහු විමසුවේ විස්මය සඟවා නොගෙනයි.

"ඇයි?එපාද?මේ කටු නැති ජාතියක්!" ඇය සුපුරුදු දඟකාරකමින් සිනාසුණා.

"නෑ එපා නෙමෙයි,මම කවදාවත් පැළයක් හිටවලා නැහැ... අනික ඔයානේ රෝස වලට ආස."

"කවදාවත් පැළයක් හිටවලා නැහැ??ලැජ්ජයි නේ!හරි එහෙනම් ඉස්ඉස්සෙල්ලා මේක හිටවන්නකෝ" තවදුරටත් සිනාසුණා.පරිසරයත් දෙසිතත් අඳුරු වූ මේ මොහොතේ සිනහවක් ගෙනෙන්නට හැකිවූ මේ රෝස පැළයට ඔහු සිතින් කෘතඥ වුණා

ඔවුන් උයනෙන් නික්මෙද්දී හාත්පස පැතිරී තිබුණු අඳුර දෙදෙනාටම මිතුරු වුණා. ඇගේ අතැඟිලි අතහරින්නට පෙර "රතු රෝස ?" ඔහු විමසුවේ හදිසියේ මතක් වූ සෙයින්.ඊට පිළිතුරු ලෙස සිනාසුණා පමණයි.

......................................................................

වසන්තය යනු සෘතුවක් නොව හැඟීමක් බව ඔහු උගත්තේ මේ වසරේදී යි.වෙනදාට සීතල දවස් අඩු වෙමින් කුරුලු ගී හඬ වැඩිවෙමින් එළඹෙන වසන්තය මෙවර එකම අළු පැහැ කාල පදාසයක් වී තිබුණා. සෑම දවසක්ම රැය ගෙවී උදෑසන එළඹුණ බව දැනගෙනත් දෑස අරින්නට නොසිතෙන දවස් බවට හැරුණේ රහසේමයි.ඔහු අළු පැහැති කාල චක්‍රයක යාන්ත්‍රිකව හුරුපුරුදු දේ කරන රොබෝවෙක් බවට පත්වී සිටියා. එතෙක් කල් ඔහුගේ සිහිය විකල් වී තිබූ තරම ඔහුටම දැනුණේ නිදන කාමරයේ කවුළුව අසලින්ම සිටවූ රෝස පැළය මල්වර වී ඇති බව දවසක් අහම්බෙන් දුටු විටයි. සීරුවට ඉහිරෙන උදෑසන තුහිනයද, තමාට රැකියාවට යාම පමා කරමින් දුවන ඔරලෝසු කටුවද නොතකා ඔහු නොඉවසිල්ලෙන් රෝස පැළය අසලට පියමන් කළා.
උදෑසන පින්නෙන් නැහැවී එකම ඉත්තක රතු රෝස මලක් හා සුදු රෝස මලක් පිපී සුළඟෙහි නැළවෙමින් තිබුණා.



 ~හිමන්දී~